Sunday, May 20, 2012

Ritigala Strict National Resort.( රිටිගල අධි රක්‍ෂිතය.)


2012 මැයි 20 වෙනිදා විවෘත විශ්වවිද්‍යාලයේ නුවර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ 2009/2010 කණ්ඩායමේ සහෝදර සහෝදරියන් රිටිගල දැඩි රක්ෂිතය බලන්න ට්‍රිප් එකක් ගියා. ඒ ගැන විස්තර ටිකක් ඔයාල වෙනුවෙන් බෙදාගන්නයි මේ උත්සාහය..........



ගමන ගැන කියන්න කලින් රිටිගල ගැන පොඩ්ඩක් විස්තර හොයල බලමු.

1942 දී තමයි රිටිගල දැඩි රක්ෂිතයක් විදියට නම් කළේ. ඒකට ප්‍රධානම හේතුව උනේ මේ කඳු පන්තියේ තියන ඓතිහාසික හා උද්හිද විද්යාත්මක වැදගත්කම. තෙත් කලාපීය දේශගුණික රටාවකට හිමිකම් කියන රිටිගල අවුරුද්ද පුරාම නොසිඳී ගලා එන සියුම් ජල උල්පත් වලින් පිරුණු මනස්කාන්ත කඳු ගැටයක් කියල කීවට වැරැද්දක්  නෑ.

ශාක විශේෂ විදිහට පළු,වීර, මොර, අන්නාසි, දෙහි, දොඩම් වාගේ පළතුරු වර්ගත් ඉතාම දුර්ලභවර්ගයේ අශෝක වගේ මල් වර්ගත් රිටිගලින් බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ලංකාවේ වියලි කලාපිය හා තෙත් කලාපිය වනාන්තර වල දකින්න ලැබෙන බොහොමයක් දැවමය ශාඛ වර්ගත් තිත් කොහා, කහ කුරුල්ලා, වලි කුකුළා, ගිරවා, මයිනා, නීල බෙයියා, බට ගොයා, දෙමලිච්චා  වාගේ පක්ෂීන් වර්ගත්, විවිධ සමනල් වර්ග වගේම අලි, කොටි, වලස්සු , මුවෝ , ගෝන්නු  වාගේ  සිවුපාවෝත්  නයා, පොළඟා, පිඹුරා වාගේ උරඟ සත්ව විශේෂත් රිටිගලින් නිතරම හමුවෙනවා කියල තමයි අපිට දැනගන්න ලැබුනේ.

රිටිගල කියන්නේ එක තනි කන්දක් නෙමේ. ඒක කඳු පන්තියක්. ආසියා කන්ද, බට කන්ද, කොඩිගල, උණ කන්ද, අඹරාපති කන්ද, පටලීය හින්න, කිරිවැල් හින්න කියන කඳු හතෙන් තමයි රිටිගල හැදිලා තියෙන්නේ. රිටිගල 600mක් (අඩි 2000ක්) විතර උස වියළි කලාපයේ ඉහළම ස්ථානය වෙනවා.

පුරාවිද්යාත්මක සාක්ෂි ඒ කියන්නේ සෙල් ලිපි වලට  අනුව නම්  ක්‍රි.පූ. 119-109 සද්ධාතිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජිතිස්ස රිටිගල විහාරයක් කරවූ බවකුත් තවත් සෙල් ලිපියකින් වළගම්බා රජු රිටිගල අසල කුඹුරු යායක් කරවා භික්ෂු ශාසනයට පූජා කළ බවකුත් සඳහන් වෙනවලු. අනෙක් අතට මහා වංශයේ විදියට නම් ක්‍රි.පූ. 833-835 විතර කාළේ පළමු වන සේන රජු පාංශුකූලික භික්ෂූන්ට රිටිගල ආරමයක් කරවා දුන් බවක් සඳහන් වෙනවා. කොහොම උනත් ඓතිහාසික සහ ජනප්‍රවාද වල එන තොරතුරුත් එක්ක ගත්තාම රිටිගල කියන්නේ සමාධි සුවයෙන් කාලය ගත කරපු භික්ෂුන් වෙනුවෙන් කරපු ආරාමයක් කියල තමා බොහෝ දෙනෙක් විශ්වාස කරන්නෙ.

අනෙක් අතට රාම-රාවණ යුද්ධයේදී තුවාල වුණු රාමට ප්‍රතිකාර කරන්න හනුමාන් භාරත දේශයේ ඉදන් ඔසවාගෙන ආපු බෙහෙත් පර්වතයෙන් කොටසක් රිටිගල මතට කඩා වැටුන කියල ජන ප්‍රවාදයේ එනවා. ඔය කන්දේ ඉතුරු කෑල්ලලු රූමස්සල තියෙන්නේ. රිටිගල පුරාම විසිරීලා තියන ඉරරාජ, සඳරාජ, බිං කොහොඹ, වාගේ දුර්ලභ ගනයේ බෙහෙත් පැළෑටි අදත් මේ වනයේ තියනවා කියල අපිත් එක්ක ගිය  පුරාවිද්‍යා හා වන අඩවි නිලධාරීන් තහවරු කළා.

පොඩි හැදින්වීමක් කරලම අපේ ගමන ගැන කියන්න ගත්තහම ඔයාලත් යන වෙලාවක වැදගත් වේවි කියල හිතුව.

අපි ගමන පටන් ගත්තේ නුවරින්. උදේ 6 ත් පහුඋනා සේරමලා එක්කගෙන පිටත් වෙනකොට. මේ තියෙන්නේ අපි ගිය පාර.

කවුරු උනත් ඕන ලෝකෙක ඉදන් දඹුල්ලට එන්න දන්නවනේ.  
 
 
ඊට පස්සේ එක්කෝ කැකිරාව පැත්තෙන් ගේනවල්පොල හරහා හරි නැත්තන් හබරණ පැත්තෙන් පලුගස්වැව හරහා හරි යන්න පුළුවන්. අපි කැකිරාව පැත්තෙන් ගිහින් හබරණින් අවා.

ඔය හැම පාරක්ම දැන් හොඳට කාපට් කරලා හදල තියන හින්ද කරදරයක් නැතුව යන්න පුළුවන්. රිටිගලට හැරෙන තැන රිටිගල කියල නමපුවරුවක් එහෙම ගහල තියනවා. ගේනවල්පොල හරහා ආවනම් අතේ වමටත්, පලුගස්වැව හරහා ආවනම් අතේ දකුණටත් හරවල ඇතුලට යන්න තියනවා. මේ තියෙන්නේ ඒ යන ගමන් ගත්ත ෆොටෝ එකක්.

ඔව් ඔය පෙන්නේ රිටිගල කඳු වැටිය තමා.
 
ඔය පාරේ කි.මී. 3-4 ක් විතර යද්දී දකුණු පැත්තට “රිටිගල අරණ්‍ය සේනාසනය” කියල පුවරුවක් හම්බෙනවා. මෙතනින් ඇතුලට ගියොත් රිටිගල අරණ්‍ය සේනාසනයට යන්න පුළුවන්. මෙතන මේ කලෙත් අරණ්‍යගතව ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒත් අපිට එයාලගේ කුටි වලට ගිහින් බලන්නනම් හම්බෙන්නේ නෑ. එහෙම ගිහින් කරදර කරන්නත් එපා. මේ තියෙන්නේ අරණ්‍යයට යන පිවිසුමේ ගහල තියන පුවරුවක්.



මේ තියෙන්නේ ඒ අරණ්‍ය පාමුල තියන දාන ශාලාව. අපිටත් එදා උදේ දානය හම්බුනා. අපි උදේට කාල නෙමේ ගමන පිටත් උනේ. කිරිබත්, කැවුම්, කෙසෙල්, බඩ පිරෙන්න කාල දානේ ගෙනාපු අයටත් පින් දීල අපි ආපහු ආව.

අර මං මුලින් දකුණට හැරෙව්වා කියපු තැන ඉදන් තවත් කි.මී. 2-3ක් විතර ඉස්සරහට අවාම රිටිගල අධි රක්ෂිතයට ඇතුල්වෙන තැන අතේ දකුණට වෙන්න තියනවා. එතන ගොඩනැගිලි කීපයක්ම තියනවා. මේ පුවරුව තියෙන්නෙත් එතන. රිටිගල තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානය.

මෙන්න මෙතනින් ඔයාල වන අඩවි නිලධාරී වරයෙක් ගේ සහයෝගය ගන්න ඕන. නැත්තන් අපිට අධි රක්ෂිත ප්‍රදේශයට යන්න හම්බෙන්නේ නෑ. එයාලට කලින් දැනුම් දීල යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. කොහොමත් මේ රක්ෂිතයට අපිට ඇතුල් වෙන්න තහනම්. ඒත් අපිනම් ගියා.අපේ ඉඳුනිල් සහෝදරයගේ මාම කෙනෙක්ගේ උදව්වෙන්. යුනිවර්සිටි එකකින් ගියාම කොහොමත් හොදට සලකනවා. මේ පුවරුව ලගින් ඇතුලට තවත් කි.මී. 2 ක් විතර ඝන කැළේ මැදින් ගියාම (ඒ යන අතරමග අලි හිටිය බවට සාක්ෂි නම් තිබුණා) වාහන නවත්තන්න පුළුවන් ඉඩකඩක් තියන, පොඩි තාවකාලික ගොඩනැගිලි කීපයක් තියන තැනකින් අපිට වාහනේ නවත්තන්න වෙනවා. එතන ඉඳන් ගමන පයින්.

මේ තියෙන්නේ රිටිගල ඇතුල් වීමේ දොරටු ගල.


මෙතනින් පුරාවිද්‍යා නිලධාරියෙක්ගේ සහයත් අපිට ගන්න වෙනවා. ඒ කියන්නේ සම්පුර්ණ ගමන එක්ක ඒ නිලධාරීන් දෙන්නත් අපි එක්ක ඉන්නවා.

දැන් තමයි හොදම හරිය.

අපි මුලින්ම යන්නේබන්දා පොකුණබලන්න. පොකුණක් කීවට මේක තනිකරම කැළයක්. දැන් ටික ටික පුරාවිද්‍යා එකෙන් සංරක්ෂණය කරගෙන යනවා. ඔය තියෙන්නෙ දැනට කරලා තියන ටික. මේ ටික කරන්නත් අවුරුදු 3ක් විතර ගියා කියල එයාල කීවා. ඒ කියන්නේ අනාගත පරම්පරාවල් වලට මේක සම්පුර්ණයෙන් හදපුවම බලන්න පුළුවන් වෙයි. ඇත්තටම එක කොච්චර අමාරු වැඩක්ද කියල තේරෙනවා ලගට ගිහින් බලපුවම.


මේ පොකුණ පාවිච්චි කරලා තියෙන්නේ “අරිට්ඨ” මහරහතන් වහන්සේ ඇතුළු පන්සීය නමක් ස්වාමීන් වහන්සේලා කියල තමයි අපිත් එක්ක ගිය පුරාවිද්‍යා එකේ නිලධාරී මහත්යා කීවේ. මේ රිටිගල කන්ද පුරාම උන්වහන්සේලා වෙනුවෙන් හදපු නොයෙකුත් ගොඩනැගිලි රාශියක නටබුන් ඉතිරි වෙලා තියනවා. මෙහි තියන විශේෂම දේ නම් මේ සියලුම නිර්මාණ කළු ගලින් විතරක් නිර්මාණය කරලා තියන ඒක. මම නම් එක ගඩොලයක්වත් දැක්කේ නෑ මේ පුරාවිද්‍යා භූමිය ඇතුලේ.


ඔය ප්‍රතිසංස්කරණය කරපු කොටස පොකුණක එක ඉවුරක් වගේ පෙනුනට ඇත්තටම ඒක ප්‍රතිසංස්කරණය කරන්න කලින් තියෙන්නේ නම් මෙන්න මේ වගේ.
  
බලන්න ඔය ෆොටෝ එකේ වම් කෙලවරේ පොකුණේ ඉවුර හදන්න ගත්ත කළු ගල් පුවරු එහෙ මෙහෙ විසිරිලා තියනවා. ඒවා ඔය පොකුණ තිබුන කියල විස්වාස කරන අක්කර 2-3 ක භූමි භාගය පුරාම දකින්න පුළුවන්. 

අපි බන්දා පොකුණ පහුකරගෙන තව  ඉස්සරහට ගියා. මේ තියෙන්නේ ගොඩනැගිලි වලට නගින්න හදපු පියගෙට පෙළක්. 



සේරම කළුගල් නිර්මාණ. 


 සම්පුර්ණ පුරාවිද්‍යා භූමිය පුරාම අපි පයින් යන්නේ කළුගල් පාරවල් වල. ඇත්තටම මේක මහා විශ්ව නිර්මාණයක්.








මේකත් මාරම ලස්සන නිර්මාණයක්.මේක පොඩියට තිබුනට මේ තියෙන්නේ වතුර පාරක් උඩින් හදපු ගල් පාලමක්. ගල් කුට්ටි දෙකක් ඉතාම සුරුවමට කපා ඔපමට්ටම් කරලා හදපු විශිෂ්ඨ නිර්මාණයක්. මේ පාලම අඩි 15 ක් විතර දිගයි. ටොන් ගානක් බර ගල් කුට්ටි වලට කොහොම පණ දුන්නද කියලා කාටවත් හිතාගන්න බෑ.


ඔය වගේ ගොඩක් ශෛලමය නිර්මාණ පහුකරගෙන අපි එනවා තවත් විශේෂ තැනකට. මේ තියෙන්නේ රෝහලක නටබුන්. 

ඔය මැද තියෙන්නේ පොකුණක් වගේ එකක්. රිටිගල කඳු පන්තියේ උසම කන්ද  ඖෂධ වලින් පිරිලා තිබුණාලු. ඒ ඖෂධ උයනේ ඉදන් මේ රෝහලේ බෙහෙත් පොකුණට ජලය එන්න උමන් මාර්ගයක් ඉස්සර තිබිල තියනවා. එහෙම එකක් නොතිබුනා කියල හිතන්නවත් බෑ මේවා හැබැහින් දැක්කාම. මේ කරලා තියන නිර්මාණත් එක්ක එහෙම දෙයක් තියෙන්නෙම ඇති.

මේ රෝහල් භූමියේම එක පැත්තක තියනවා රෝගී භික්ෂූන් වහන්සේලාගේ පාවිච්චියට උණුවතුර පුරවපු ටැංකියක්. බලන්න ඒ කාලේ නිර්මාණ අදත් යහතින් වැජබෙන ලස්සන. මේ ටැංකියට පුරවන්න වතුර උණු කරපු විශාල මැටි කල දැන් මෙතන නෑ. ඒවා කාලයත් එක්ක විනාශ වෙලා.මේ තියෙන්නේ ඒ උණුවතුර ටැංකිය.

 ඒ වගේම බෙහෙත් අඹරපු ගල්, බෙහෙත් කලවම් කරපු බෙහෙත් ගල් මේ රෝහල් භූමිය පුරාම දකින්න පුළුවන්. මේ සේරම ශෛලමය නිර්මාණ.


බලන්න බෙහෙත් කලවම් කරන ගල් වල වතුර බේරිලා යන්නත්, ඒ වතුර ඉවත් වෙන්නත් කුඩා සිදුරක් පවා හදල තිබිල තියනවා. 


මේ තියෙන්නෙත් බෙහෙත් වර්ග කලවම් කරන්න හරි, උනුකරන්න රත් කරන්න හරි, සමහර විට ගබඩා කරන්න හරි පාවිච්චි කරපු ගල් වළඳක් වගේ එකක්.

මේ තියෙන්නෙත් රෝහලේ දර්ශනයක් තමයි.


අපි එතන ටිකක් නැවතිලා ඉදල ආයිත් කළුගල් මාවත් දිගේ ඇවිදගෙන ගියා. මේ එහෙම යන අතරමග දකින්න ලැබුණු නිර්මාණ ටිකක්.




මේ ස්වාමීන්වහන්සේලාගේ වැඩවාසය සඳහා ඉදිකෙරුණු ගොඩනැගිලි වල නටබුන් වගයක්. අපිත් එක්ක ගියා පුරාවිද්‍යා නිලධාරිතුමා නම් කිවේ මේවා ලංකාවේ එක එක කාල වල සිද්ද උන ආක්‍රමණ වලින් විනාශ උනා කියලයි. 



ඔතනින් පස්සේ අපි ඝන කැලෑව මැදින් සැහෙන්න දුර යන්න ඕන. මේක ලස්සන අත්දැකීමක්.



මේ සේරම කළුගල් පාරවල්. මුළු කැලෑව පුරාම මේ වගේ පාරවල් තියනවා. ඕවගේ ඇවිදගෙන අපි ඊළඟට එන්නේ පුස්තකාලය ලගට. ඒකත්  ලස්සන නිර්මාණයක්.

  මේ තියෙන්නේ පුස්තකාලයට යන්න තියන පාලම. එකත් මහා විශාල කළුගල් පාලමක්.



 මේ පුස්තකාල ගොඩනැගිල්ල උඩට පෙනෙන දර්ශනය. සමහරු උපකල්පනය කරනවා මේ ස්ථානය බැලුම් ගලක් කියලත්.





මේ ඉන්නේ අපේ ට්‍රිප් එක ගිය කණ්ඩායම. 

3 comments:

  1. Superb....excellent work..
    api giya gamanen thawath ayata godak de igana ganna labenawa me haraha..godak hoda wadak digatama karagena yanna
    mama adminlata wish karawa..apeth support eka digatama oyalata tiyanawa ( by infinity )

    ReplyDelete